ගුණමකු ජාතියකට අමතක වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා


රට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

පුද්ගලයකුට තම ජීවිතය තරම් වටිනා අන් දෙයක්‌ නැත. දුලබ වාසනාවක්‌ ලෙස ලබන මනුෂ්‍යාත්මභාවය තම සුඛ විහරණයට යොදා නොගෙන සමස්‌ත ජීවිත කාලයම උතුම් සිංහල ජාතිය, නිර්මල බුදු සමය හා ශාසනය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කරන්නා, ඒ අනුවම ක්‍රියාත්මක වන්නා, ඒ උදෙසා අනන්ත වූ දුක්‌ පීඩා, තර්ජන ගර්ජන උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා යමෙකු වේද හෙතෙම අසහාය බෝසත් ප්‍රතිපදාවෙන් යුක්‌ත වන්නේය. එවැනි කෙනෙකු අවශේෂ ලෝකයාගේ බුහුමනටද ගෞරව ප්‍රණාමයටද යෝග්‍ය වන්නේය. සිංහල රාජ වංශයට පසුව මේ දක්‌වා ගතවූ සියවස්‌ කීපයක්‌ සමාලෝචනයට ගතහොත් අදින් වසර 81 කට පෙර අද වැනි දිනෙක අභාවප්‍රාප්ත වූ සිරි දේවමිත්ත හිමි හෙවත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ලෝකවාසී බෞද්ධ ජනතාවගේද ලාංකීය සිංහල බෞද්ධයාගේද උත්තරීතර ගෞරවාදරයට පාත්‍රවූ අසහාය ජාතික නායකයකු විය. එතුමා ජීවමාන වූ වසර 69 ක්‌ වූ කාලය තුළ ශ්‍රී ලංකාවේද, ගෞතම බුදුපියාණන්ගේ ජාත භූමිය වූ ඉන්දියාවේද බෞද්ධ උරුමයන් දිනා ගැනීම සංරක්‍ෂණය කිරීම ආදිය වෙනුවෙන් දියත් කළ අවිහිංසක අරගල, ධර්මානුරූපීව ගෙනගිය ප්‍රචාර, ගොඩනඟන ලද ජාතික ආගමික බලවේග, වියතුන් සභා මැද පැවැත්වූ හරවත් දේශන යනාදී කුදු මහත් කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස අද දඹදිව සියලු බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා වී තිබීමම කෙතරම් විශ්මය ජනකදැයි සිතීම වටී. සංවිධිත ජාතික ව්‍යාපාරයකින් තොරව හුදෙක්‌ම එතුමාගේම ප්‍රඥ මහිමයෙන්ම, අධිෂ්ඨානයෙන්ම, අප්‍රතිහත ධෛර්යයෙන්ම පියවරෙන් පියවර කුදු මහත් ජයග්‍රහණ අත්කර ගැනීමේ ප්‍රතිඵලය ලෙස අද බෞද්ධ ලෝකයටම බැති සිතින් වන්දනා මානයට උචිත වූ පරිද්දෙන්ම ඉන්දියාවේ බුද්ධ භූමි සංරක්‍ෂණය වී තිබේ. ලාංකිකයන් පමණක්‌ නොව ජපානය, ටිබැටය, චීනය, තායිලන්තය, මියන්මාරය, මැලේසියාව, ලාඕසය, වියට්‌නාමය, සිංගප්පූරුව යන ආසියාතික රටවලද ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය, ස්‌පාඤ්ඤය වැනි බටහිර රටවලද බෞද්ධ හා අබෞද්ධ සැදැහැවත් විද්වත් ගවේශකයෝ, වන්දනාකරුවෝ, නිතිපතාම බුද්ධගයාව කුසිනාර, සැවැත්නුවර, කපිලවස්‌තු පුරය වැනි බෞද්ධ විහාරාරාමවලට පැමිණෙමින් බුදු දහමේ ද ශාසනයේ ද අරුණාලෝකය දකිති. මේ හාස්‌කම අප උදෙසා ඉටු කර දුන්නේ අන් කවරකුත් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණෝය. සැබැවින්ම එතුමා කොතරම් නම් නිර්භීත, අධිෂ්ඨානශීලී ශාසනුන්නතිකාමී දේශප්‍රේමියකු දැයි අව්‍යාජව හඳුනා ගැනීමට නම් සෑම ලාංකික බෞද්ධයකුම දඹදිවට යා යුතු යෑයි කල්පනා වන්නේ එබැවිනි. එතුමා අපගේ අති උතුම් බුදු සමයත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටුකර තිබෙන යෝධ මෙහෙවරේ අගය එතරම්ය. එවැනි දුෂ්කර ව්‍යායාමයක නිරත වූ වෙනත් සිංහල හෝ අසිංහල ජන නායකයකු ශ්‍රී ලංකාවේ නැත. එහෙයින්ම එතුමෝ ශ්‍රී ලංකාවේ ජාතියේ පීතෘවරයාණෝ යෑයි කීම අතිශයින්ම නිවැරදිය. අව්‍යාජ නිර්වචනයක්‌මය.

විෙද්‍යාදය පිරිවෙන එකල රටේ සිදුවෙමින් පැවැති බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහි වූ දේශප්‍රේමී ගිහි පැවිදි වියතුන් ඒකරාශී වන වේදිකාවක්‌ බඳු විය. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, ප්‍රවීණ ලේඛක පියදාස සිරිසේන, නාට්‍යවේදී නීතිඥ ජෝන් ද සිල්වා, වලිසිංහ හරිශ්චන්ද්‍ර යන වියත්හු එතුමාගේද ඇසුරට ලක්‌විය. ක්‍රමක්‍රමයෙන් ඩේවිඩ් තරුණයා සැබෑ ආගමාලයෙන් ශික්‍ෂණය ලද්දකු විය.

1891 ජනවාරි 2 දින ධර්මපාලයෝ ඉන්දියාවට සැපත් වීම ඒ උත්තම ජීවිතයේ අලුත් යුගයක්‌ උදා කළේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගෙවී ගිය වසර 600 ක තරම් කාලය තුළ ඉන්දියාවේ තිබූ ලුම්බිණිය, කුසිනාරා, ඉසිපතනය (බුද්ධගයා) ආදී සියලුම බෞද්ධ උරුමයන් කලක්‌ ඉස්‌ලාමීය ත්‍රස්‌තයන් අතින්ද ඉක්‌බිතිව හින්දු මහන්තාවරුන් අතින්ද විනාශයට පත්ව තිබිණ. අත්වී තිබෙන විනාශයන් දැක කම්පාවට පත් ධර්මපාලතුමාණෝ බුද්ධගයාව ඇතුළු බුද්ධ භූමි බෞද්ධ අයිතියට පත්කරලීමේ මහා කර්තව්‍යයට මුල පිරුවේය.

එම වසරේම මැයි 31 දා මහාබෝධි සමිතිය නමින් සංවිධානයක්‌ ඇරඹි එතුමා එහි ශාඛා ආසියාවේ සියලු බෞද්ධ රටවලද, ඇමරිකාව, ජර්මනිය, ආදී යුරෝපීය රටවලටද ව්‍යාප්ත කළේය. ඉන්දීය දේශය තුළ බෞද්ධ උරුමයන් මුහුණ පා තිබෙන ෙ€දජනක භාවය හෙළිකොට ඒවා යළි දිනා ගැනීමත්, සංරක්‍ෂණය කොට පවත්වාගෙන යෑමත් අරභයා කළ යුතු අරගලය පිළිබඳව ලෝකයාට කරුණු කීමට එතුමා “මහාබෝධි සහ ඔයෑ ඊමාdයසිඑ නමින් ප්‍රකාශන දෙකක්‌ද ප්‍රසිද්ධ කළේය. ඉන් ලද ප්‍රසිද්ධිය නිසාම ලොවනන් දෙසින් බුද්ධගයා අරමුදලට පරිත්‍යාග ගලා එන්නට විය. බලාත්කාරයෙන් බුද්ධ භූමි තම සන්තකයට ගෙන සිටි මහන්තාවරුන්ට එරෙහිව නඩු හබ කීමට, නටබුන් සිද්ධස්‌ථාන යළි ගොඩනැඟීමට, විහාරාරාම ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමට හා මූලගන්ධකුටි විහාරය ඉදිකිරීමට එම ධනය යෙදවීය. අද ඉන්දියාවට යන බැතිමතුන්ගේ වන්දනාවට යොමුවන සියලු වෙහෙර විහාර සුරක්‍ෂිත වී තිබෙන්නේ ධර්මපාලතුමා මහාබෝධි සමාගම හරහා කරන ලද මහා කාර්යභාරයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

සිංහල ජාතියේ අදීනත්වය උදෙසාද, සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සහ බුදුසමයේ යහ පැවැත්ම උදෙසාද සිංහල රාජ පරම්පරාවට පසුව ඉටු කළ මහා මෙහෙවරකට නායකත්වය දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමෝ සිහි නුවණින් යුතුව 1933.04.29 දින දිවංගත වූහ. ධර්මපාල කුමරා හය හතර තේරුම්ගත් අවධියේ සිටම බුදුදහමේ අගය වටහා ගත්තේය. ජාතියක්‌ වශයෙන් සිංහලයාට පත්ව තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය නිවැරදිව හඳුනාගත් එතුමා එකල ඉංගී්‍රසි පාලනය යටතේ රටත් ජනතාවත් පත්ව තිබූ අගාධයෙන් ගොඩ ගැනීම අරභයා පුද්ගලයෙකු වශයෙන් කළ හැකි හා කළ යුතු වූ සියල්ල නොපිරිහෙලා ඉටු කළේය. එකල සංවිධිත ජාතික විමුක්‌ති ව්‍යාපාරයක්‌ ලක්‌දිව බිහිවී නොතිබුණු බැවින් එතුමාගේ කටයුතු හා ක්‍රියා කලාපයන් එතුමාගේ අභිමතය පරිදිම සිදු විය. එය විටෙක කඨෝර වූවා හෝ නිර්දය රළු බවින් යුක්‌ත වූවා විය හැකි නමුත් ඒ කිසිවක්‌ කිසිවකුගේ සිත් රිදවීමට කළ ඒවා නොවීය. නිවට නියාලු මර නින්දේ සිටි සිංහල ජාතිය ජාතිකාභිමානයෙන් දේශ වාත්සල්‍යයෙන් අවදි කරවීම එම කර්කශ විවේචනවල අභිප්‍රාය විය.

ධර්මපාලතුමා සිය ජීවිතාදර්ශයෙන්ම චාම් සහ උපේක්‍ෂා පරවශ ජීවිතයක්‌ ගත කළේය. මවුපියන්ගෙන්ද හිතමිතුරන්ගෙන්ද ලැබුණු සියලුම ධනය එතුමා ඉතා සකසුරුවමින් ශාසනික කටයුතු උදෙසාම කැප කළේය. එතුමා ලත් අධ්‍යාපනය, උපතින් ලද පෞරුෂය හා රූප සම්පත්තිය උරුම වූ දේපළ සම්පත් ආත්මාර්ථය උදෙසා යෙදවූයේ නම් ශ්‍රී ලංකාවේ තවත් සිටුවරයකු ලෙස සැප සම්පත් අත්විඳින්නට තිබූ හැකියාව දෙස නොබැලුවේය. රට දැය සමය කෙරෙහි අචල ආදරයෙන් මුළු ජීවිත කාලයම ගත කළ එතුමාගේ අභාවයෙන් පසු ලාංකීය ජනතාවට එතුමාගේ අගය දැනෙන්නට විය.

එහෙත් අගය කළ හැකි තරමේ වටිනාකමක්‌ එතුමා සම්බන්ධයෙන් ඉස්‌මතු කිරීමට තරම් වගකිවයුතු අංශ උත්සුක නොවීම කනගාටුවට කරුණකි. අද රට පත්ව තිබෙන ආධ්‍යාත්මික පරිහානිය සලකා ධර්මපාලතුමන්ලා කීප දෙනෙකුගේ බිහිවීම අවශ්‍යව තිබෙතත් එම අවශ්‍යතාව උදෙසා ගන්නා ඵලදායී පියවරක්‌ නැති තරම්ය. එහෙයින් එතුමාගේ 81 වැනි ගුණ සමරුව සිදු වන අද දිනයේ ලාංකීය දේශප්‍රේමීන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ ධර්මපාලතුමාගේ ජාතික අපේක්‍ෂා ඉටුවන පරිදි තම තමන්ගේ ජීවිත හැඩ ගස්‌වා ගැනීම නොවේද?

බන්දුල මානවඩු

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )