Indo – Lanka Pact – ඉන්දු ලංකා ගිවිසුම


ඉන්දු ලංකා ගිවිසුමේ පසුබිම
(1987 ජුලි 29 දිනට ඉන්දු-ලංකා ගිවිසුමට 26 වසරක්‌ පිරීම නිමිත්තෙනි)
භාරත දේශය බ්‍රිතාන්‍යයේ වික්‌ටෝරියා රැජිනගේ කිරුළට යටත් කෙරුණේ දහනව වන සියවසේ දී ය. විසිවන සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍ය පාලකයන්ට ආසියාවේ ආධිපත්‍ය තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි විය. හින්දු හා මුස්‌ලිම් නායකයෝ බ්‍රිතාන්‍ය පාලකයන්ට විරුද්ධව නිදහස්‌ අරගලයක්‌ දියත් කළහ. හින්දුන්ගේ සටන් පාඨය වූයේ ඉන්දියාවෙන් පිටවෙනු යන්න යි. එහෙත් මුස්‌ලිම් ලීගයේ සටන් පාඨය වූයේ රට බෙදුනු. බෙදා පිටවෙනු යන්න යි. ඒ නිසා බ්‍රිතාන්‍ය පාලකයෝ භාරත දේශය ජාතිවාදී කෝදුවකින් ඉන්දියාව හා පකිස්‌ථානය යනුවෙන් දෙකට බෙදා 1947 අගෝස්‌තු 15 දින එරටින් පිටවූහ. 1948 දී බුරුමයට හා ලංකාවට නිදහස ලැබුණි.
ඉංග්‍රීසීහු ඔවුන් පාලනය කළ සෑම රටකටම ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන ගියහ. ඉංග්‍රීසීන් ඒ රටවලින් පිටවූයේ දෙමළ කම්කරු ප්‍රශ්නවලින් ඒ රටවල් අර්බුදයකට පත්කරමිනි. යටත් විජිත යුගයේ දී දෙමළ ජාතිවාදය පදනම් කරගෙන ලංකාව පෙඩරල් ක්‍රමයට බෙදන්නට වෑයම් කෙරුණත් එය වැලකුණි. බුරුමයේ හා මලයාවේ ද එවැනි වාතාවරණයක්‌ තිබුණි.
ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මුලින් ම ප්‍රවේශ වන්නේ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ දෙමළ කම්කරු ජනයා මුල්කරගෙන යි. දෙමළ කම්කරුවන්ට ලංකා භූමියෙහි ගෞරවාන්විත පුරවැසිභාවයක්‌ ලබාදීම ඉන්දියාවේ අරමුණ විය. ඒ ගැන සොයා බැලීමට 1939 වසරේ ජුනි මස ඉන්දීය කොන්ග්‍රසයේ නියමයෙන් ලක්‌දිවට පැමිණි ශ්‍රී ජවහර්ලාල් නේරු ඉන්දියානු කොංග්‍රසයට ලබාදුන් වාර්තාවේ මෙසේ දැක්‌වේ. ඉන්දීය කම්කරුවන්ගෙන් වැඩ අරගෙන ඉස්‌ම මිරිකා ගත් දෙහි ලෙල්ලක්‌ මෙන්, ඔවුන් රටින් නෙරපා දැමීම බරපතල වරදකි. විදෙස්‌ ගත ඉන්දියානු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන සොයාබැලීම ඉන්දියාවේ ද වගකීමකි. ලංකාවට ආසන්න රට ඉන්දියාවයි. එය ලංකාව ඉදිරියේ යෝධයකු මෙනි. ලංකාව මානසික වශයෙන් පීඩාවට ලක්‌කරන්නට අප සූදානම් නැත. මට අනාවැකි කිව නොහැකි යි. නමුත් බ්‍රිතාන්‍යයන් පිටව ගිය දවසක ලංකාවට තිබෙන පිළිසරණ කුමක්‌ ද? භූගෝලීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇයි හොඳයියකින් ලංකාව වැඩ කළයුතු යි. ලංකාවේ ඇතැම් අය එවැනි සබඳකමකට කැමැති නැත. ලාංකිකයන් ඉන්දීය විරෝධයක්‌ දැක්‌වූවත්, අප එය ඉවසිය යුතු යි. ඉන්දියාව වටා තිබෙන කුඩා රටවලට හැකියාව තිබෙන්නේ ඔවුන්ගේ සංස්‌කෘතිය රැකගන්නට පමණ යි. ඒවාට ස්‌වාධීන පැවැත්මක්‌ නොමැත.
ජවහර්ලාල් නේරු මහතාගේ අදහස්‌ එයින් පැහැදිලි යි. ඔහුගේ අදහස වුණේ ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණ පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ විය යුතු බව යි. ඔහු සාකච්ඡාවල දී දෙමළ කම්කරු ජනතාවට පුරවැසි අයිතිය ලබාදීම ගැන ද අවධාරණය කළේය. මහත්මා ගාන්ධි තුමා ද වරක්‌ යාපනයට පැමිණ දුම්කොළ වගාවට පැමිණි දෙමළ ජනයා සමඟ සාකච්ඡා පවත්වා ඇත. එහෙත් මේ දෙදෙනා ම සාමකාමී බුද්ධිමත් නායකයෝ වූහ. ඒ නිසා ලංකාව කෙරෙහි බලහත්කාරකම් කරන්නට ඉදිරිපත් නොවූහ. අගමැතිකමට පත් ජවහර්ලාල් නේරු ඉන්දීය රාජ්‍ය පාලනයට පංචශීලයක්‌ හඳුන්වා දුනි. අසල්වැසි රටවල අභ්‍යන්තර කටයුතුවලට බාධා නොකිරීම එක්‌ ශීලයකි. එසේම ඔහු රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළේ මධ්‍යස්‌ථ ප්‍රතිපත්තියකි. ඔහු නොබැඳි ජාතීන්ගේ සමුළුව පිහිටුවීමේ පුරෝගාමියෙකි. සෝවියට්‌ රුසියාව දිගින් දිගට ම විරෝධය පාද්දී 1955 වසරේ දෙසැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ සාමාජිකත්වය ලැබුණේ ජවහර්ලාල් නේරු මහතාගේ මැදිහත් වීමෙනි. සැබැවින්ම ඔහු ලංකාවට හිතවත්ව කටයුතු කළේය. 2500 බුද්ධ ජයන්තිය සැමරුමට 1956 ලක්‌දිවට පැමිණි ඔහු තම දේශයේ උපන් ශ්‍රේෂ්ඨ උත්තමයා වන බුදුරදුන්ගේ දහම සුරැකීම ගැන ලක්‌වැසියන්ට පැසසුවේය. මහමෙව්නාවේ සමාධි බුදුපිළිමය ඔහුගේ සිත් ඇදගත්තකි.
1961 වර්ෂයේ දී චීනය මැක්‌මහෝන් දේශ සීමාව බිඳ ඉන්දියාවට ඇතුල් විය. චීනය ඉන්දියාවේ සහෝදරයෙකි යන නේරුගේ ආදර්ශ පාඨය වෙනස්‌ විය. ඉන්දියාව හා පකිස්‌තානය අතර නිරන්තර ගැටුම් මතුවුණි. ඒ හේතුවෙන් නේරුගේ න්‍යෂ්ටික අවි වාරණ පිළිවෙත දිගට ම පවත්වා ගෙන යැමට ඉන්දියාවට නොහැකි විය. මේ අතර, 1963 සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිණිය ශ්‍රී ලංකා – චීන නාවික ගිවිසුම අත්සන් කළාය. ඉන්දියා – චීන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා බණ්‌ඩාරනායක මැතිණිය දැරූ වෑයම ගැන එතුමියට දෙරටෙහි ම ප්‍රසාදය හිමිවුවත්, නාවික ගිවිසුම මගින් අගමැතිතුමිය සිදුකර තිබෙන්නේ ඉන්දියාව තැති ගැන්වීමේ ක්‍රියාවක්‌ යෑයි පිලිප් ගුණවර්ධන මහතා 1963 අගේස්‌තු 30 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැසුවේ ගිවිසුම විවේචනය කරමි නි. එම ගිවිසුමෙන් සිදුවුණේ ලංකාව කෙරෙහි පවතින ඉන්දියාවේ සුහදකම පළුදු කිරීමකි. ශ්‍රී ලංකාවේ වරායන් භාවිතයට ගැනීමට චීනයට අවසරදීම ඉන්දියාවට පමණක්‌ නොව දකුණු ආසියාවට ම තර්ජනයකි. ශ්‍රී ලංකාව සිදුකළේ ඉන්දියාවේ සතුරකු දොරකඩ අසලට කැඳවීමක්‌ යෑයි ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත සඳහන් කළේය. ලංකාවේ හැසිරීම කෙරෙහි ඉන්දියාව කලකිරුණි.
දකුණු ආසියාවේ බලවතා වන්නට සැරසෙන ඉන්දියාව අසල්වැසි රටවල ක්‍රියා කලාපය හා තම හතුරු පාර්ශ්වයන් ගැන දැඩි හෝදිසියකින් සිටියි. 1971 වසරේ පැවැති ඉන්දු පකිස්‌තාන යුද්ධයේ දී ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉන්දියාව කෝපයට පත්වන අයුරිනි. එනම්, පකිස්‌තාන ගුවන් යානාවලට හා යුධ නැව්වලට ඉන්ධන ලබාගැනීමට පහසුකම් සැපයීම යි. ශ්‍රී ලංකාව එදා අනුගමනය කළ පිළිවෙත නිවැරැදි බව අද සනාථ වී ඇත. කොටි ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ දී පකිස්‌තානය ශ්‍රී ලංකාව සමඟ නොවෙනස්‌ව සිටි මිතුරෙකි. එය කෘතඥතාවය දැක්‌වීමකි. නිදහස්‌ රටක්‌ වශයෙන් ස්‌වාධීන තීරණ ගැනීමේ අයිතියක්‌ ශ්‍රී ලංකාවට තිබේ. එහෙත් ඉන්දියාව සමඟ අර්බුද පවතින පකිස්‌තානය, චීනය වැනි රටවල් කෙරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති, හිතවත්කම් ඉන්දිරා ගාන්ධි රජයේ උදහසට හේතුවිය.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු 1949 දී ඉංග්‍රීසීන් ඉන්දීය සාගර කලාපයෙන් ඉවත්වීම හේතුවෙන් කලාපයේ බල ව්‍යාප්තිය පිළිබඳ හිඩැසක්‌ ඇතිවිය. ඉන්දියානු සාගරය පාලනය කරන තැනැත්තා ලෝකයේ බලවතා වනු ඇත. සත් මහ සයුරුවල යතුර පවතින්නෙත්, ලෝකයේ අනාගතය ර¹ පවතින්නේත් ඉන්දීය සයුරේ ජලය මත යෑයි සියවස්‌ දෙකකට පෙර විසූ ඇල්ප්‍රඩ් තායර් මහන් නමැති ඇමරිකානු නාවිකයා සැපයූ වාර්තාවක සඳහන් වෙයි. ඇමරිකානුවන්ගේ දැඩි සැලකිල්ලකට ලක්‌වූ එය හැඳින්වෙන්නේ “මහන්ගේ දර්ශනය” යනුවෙනි. ඒ අනුව ආසියාවේ බල ව්‍යාප්තිය සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය 1966 දෙසැම්බර් මස ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍ය යටතේ තිබුණ දියාගෝ ගාසියා දූපත පනස්‌ අවුරුද්දකට බද්දට ගත්තේය. එය සකස්‌ කෙරුණේ යුද කඳවුරක්‌ වශයෙනි. එය ඉන්දියාවේ විශේෂ අවධානයට යොමුවුණි. එපමණක්‌ නොව ඇමරිකාව පකිස්‌තානයට යුධ ආධාර දීම ද නොරුස්‌නා කරුණකි.
ඉන්දීය සාගරය නිරායුද සාම කලාපයක්‌ බවට පත් කළයුතු යෑ යි 1971 වසරේ එක්‌සත් ජාතීන්ගේ 26 වැනි සමුළුවට සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුණි. ඒ අනුව ඉන්දීය සාගරය යුධ මුක්‌ත කලාපයක්‌ ලෙස පවත්වාගෙන යැමටද ප්‍රමාණවත් සහයෝගයක්‌ ඉන්දියාවෙන් ලැබුණේ නැත. ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පිළිවෙත වුණේ දකුණු ආසියාවේ බලවතා වීම සඳහා යුධ ශක්‌තිය වර්ධනය කරගැනීමයි. ඒ සඳහා වෙනම න්‍යාය පත්‍රයක්‌ ඇත. න්‍යාෂ්ටික අවි නිපදවමින් සිටි ඉන්දියාව සාම සාගර කලාපය පිළිබඳ කොන්දේසි නොසලකා හැරියේ එබැවිනි. ඉන්දියාවේ අරමුණ අසල්වැසි රටවල් යටත් කරගැනීම යි. භූගෝලීය පිහිටීම ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ ස්‌ථානයකි.
කෙසේ වුව ද, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය සමඟ ජවහර්ලාල් නේරු මහතා බණ්‌ඩාරනායක පවුල කෙරෙහි දැක්‌වූ හිතවත්කම ඉන්දිරා ගාන්ධි මැතිණිය තුළ ද දක්‌නට ලැබුණි. සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමිකිරීම ගැන වේදනාවට පත් අය අතර ඇය ද කෙනෙකි. 1974 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාගරය බෙදාගෙන ඉන්දීය ධීවරයන්ට ගොඩබැසීමේ අවසරයට යටත්ව කච්චතිව් දූපත ලංකාවට පවරා දුන්නේ එම හිතවත්කම හේතුවෙනි. නමුත් 1977 බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියාව නොසලකා හරිමින් බටහිර රටවලට නැඹුරුව කටයුතු කිරීම ඉන්දියානු පාලකයන්ගේ අමනාපයට හේතුවිය. බණ්‌ඩාරනායකවරුන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගොඩනඟා ගෙන තිබූ සුහදත්වය ඡේ. ආර්. පාලනය යටතේ ක්‍රමයෙන් ඈත්වුණි. ජයවර්ධන මහතා ගාන්ධි මැතිණියට අපහාස වන අයුරින් උසුළු විසුළු කරන බව ද ඇය දැන සිටියාය.
1982 වසරේ ඡේ. ආර්. ජයවර්ධන රජය ත්‍රිකුණාමලයේ තිබෙන විශාල තෙල් ටැංකි බදු දීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වේය. යුද්ධයක දී පිරවුම්හල් ලෙස යොදාගත හැකි මෙම තෙල් ටැංකි බල අරගලයේ නිරත විරුද්ධ රටකට ලැබුණොත් තම රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ යෑයි ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දුනි. තෙල් ටැංකි බදු දෙන්නේ වාණිජ කටයුතු සඳහා පමණයි. හමුදාවල වුවමනාවනට තෙල් ගබඩා කිරීම තහනම් යන කොන්දේසිය යටතේ යෑ යි ලලිත් ඇතුලත්මුදලි මහතා ඉන්දියා රජයට පැහැදිලි කර දුන්නේය. ඉන්දියාව ද ටෙන්ඩරයක්‌ ඉදිරිපත් කළේය. එහෙත් බද්ද ලැබුණේ නියමිත දිනයෙන් පසුව ටෙන්ඩරය දැමූ ඇමරිකානු වෙළෙඳ සබඳකම් ඇති සිංගප්පූරුවේ ඔර්ලියම් සමාගමට යි. එපමණක්‌ නොව ශ්‍රී ලංකා රජයේ අවසරයක්‌ නොමැතිව යුද නැව්වලට තෙල් පිරවීමට ද බාධාවක්‌ නොවුණි. එයින් ශ්‍රී ලංකා රජය කෙරෙහි ඉන්දියාව කෝප වූවා නම්, ඒ රටේ පැත්තෙන් බලන විට එය සාධාරණ ය.
කලාපීය බලවතා වීමේ ඉන්දිරා ගාන්ධිගේ සැලසුම්වලට බාධා කරන ශ්‍රී ලංකාවේ හැසිරීම පාලනය කළ යුතුය. ඒ සඳහා කළයුතු වන්නේ දෙමළ බෙදුම්වාදීන් දිරිමත් කිරීම යි. එවිට ඉන්දියාවට හිතවත් පාලනයක්‌ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පිහිටුවන්නට පුළුවන යන්න රෝ සංවිධානයෙන් ඉන්දීය රජයට ලැබුණ උපදේශය යි. ඉන්දිරා ගාන්ධි රජය එය සැලසුම් කළ අතර, දිගු කලක්‌ තිස්‌සේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කළ ශ්‍රී ලාංකික දෙමළ බෙදුම්වාදීන්ට අවි පුහුණුව ලබා දී ත්‍රස්‌තවාදී කොටි සංවිධානය සවි බල ගැන්වීය.
1983 ජුලි මස දිවයිනේ ඇතිවූ කලහකාරී තත්ත්වය දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයේ සන්ධිස්‌ථානයකි. එම ගැටුම්කාරී අවස්‌ථාවේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියානු රජයෙන් උදව් බලාපොරොත්තු විය. එවිට ඔහුට ඉන්දියාවෙන් ලැබුණේ මෙබඳු දැනුම්දීමකි. ඉන්දියාව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැත. එසේම වෙනත් රටවල් එලෙස කිරීම ගැන ද එකඟවන්නේ ද නැත. එබැවින් දකුණු ආසියාතික රටක්‌ තවත් රටකින් යුද්ධ ආධාර ඉල්ලීමෙන් වැළකිය යුතු ය. නමුත් සුවිශේෂී තත්ත්වයක්‌ යටතේ හිංසාකාරී නොවන මැදිහත්වීමකට ඇරයුම් කළ හැක. එසේ කරන විට ඉන්දියාව පිළිබඳ විරෝධ ආකල්පයක්‌ නොමැති රටවල් සම්බන්ධ කරගන්නට වග බලාගත යුතුය. මෙය සැබැවින්ම නියෝගයකි. පසුව ශ්‍රී ලංකාවේ අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ඉන්දියානු නියෝජිත පී. පර්තසාරති ආවේය. ඔහු සාමය සඳහා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කෙරෙන යෝජනා මාලාවකි. ජනමත විචාරණයකින් පළාත් එක්‌කිරීමේ යෝජනාව ද ඒ අතර වෙයි.
කෙසේ වුව ද, ඊළාම් කොටි ත්‍රස්‌වාදය මැඩලීමට ඉන්දියාවෙන් සහයෝගයක්‌ නොලැබෙන විට වෙනත් රටවල පිහිට පැතීමට ඡේ. ආර්. ජයවර්ධන රජයට සිදුවිය. ඒ සඳහා ආයුධ ලැබුණේ පකිස්‌තානයෙන් හා චීනයෙනි. ඉන්දියාව ඒ දෙස නොසතුටින් බලා සිටියේය. ජයවර්ධන මහතා 1984 ජුනි මස තෑගි වශයෙන් ඇත් පැටියකු රැගෙන එක්‌සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා හමුවුණේ ත්‍රස්‌තවාදය මැඬලීමට උදව් ලබාගැනීමට යි. ඉන්දියාව සමඟ සාකච්ඡා කර දේශපාලන විසඳුමකට එළඹෙන්න යනු අමෙරිකානු ජනාධිපතිවරයා දුන් උපදේශය යි. ඉන්දියාවේ කලාපීය බලවන්තකම සලකා ප්‍රසිද්ධියේ එසේ කීවත්, ඉන්දියාවට එරෙහි බල කඳවුරක්‌ පිහිටුවා ගැනීමට ඉඩ ලැබීම ගැන ඔහු යටි හිතින් සතුටු විය. ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලෝරන්ස්‌ ඊගල්බර්ගර් ශ්‍රී ලංකා හමුදා පුහුණු සඳහා බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල් රටවල සහයෝගය ලබාදීමට පොරොන්දු වූ අතර එය ඉටු කෙරිණි. 1987 දී ශ්‍රී ලංකා රජය විදේශීය යුද නැව්වලට තිබුණ වරාය තහනම ඉවත් කළේය. අමෙරිකාවේ බුද්ධි හා උපක්‍රම අංශයේ ප්‍රධානියා වූ ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්‌ ඉන්දියාවේ යුද පුහුණු කඳවුරු තිබෙන බව චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වා දුන් අතර, ලලිත් ඇතුලත්මුදලි මහතා එම ඡායාරූප ජාත්‍යන්තර සඟරාවල පළකරවීය. 1984 මදුරාසියේ දී එයාර් ලංකා ගුවන් යානයක්‌ පිපිරවීමෙන් පසු තමිල්නාඩුවේ කොටි ත්‍රස්‌තවාදීන් සිටින බව හෙළිවිණි. ඉන්දියාව නිහඬ විය. ඉන්දියාව ක්‍රියා කරන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයකට අනුව ය. තමිල්නාඩු දේශපාලකයන් කළමනාකරණය කිරීමද එක්‌ සැලැස්‌මකි.
“ඇමරිකානු හඬ” කෙටි තරංග ගුවන් විදුලි මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන යැම සඳහා ශ්‍රී ලංකාව ඇමරිකා එක්‌සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹුණේ 1951 වසරේ දීය. 1984 දී අලුත් කළ එම ගිවිසුමෙන් අමෙරිකානු හඬ සඳහා ඉරණවිල ප්‍රදේශයෙන් අක්‌කර 1000 ක භූමියක්‌ හිමිවිය. අධි බලැති ගුවන් විදුලි පණිවුඩ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් එය පුළුල් කිරීමට එමගින් ඉඩ ලැබිණි. සතුරු පාර්ශ්වයක විකාශනයන්ට බාධා කිරීමේ හැකියාව ද, ඉන්දීය මහා සාගරය තුළ න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීන්වලට රහසිගතව ගමන් කිරීම සඳහා පණිවුඩ දීමට ද එමගින් බලාපොරොත්තු විය. ඉන්දීය පාර්ලිමේන්තුවේ දී ඒ ගැන අදහස්‌ දැක්‌ වූ එරට විදේශ ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව හිතුවක්‌කාර අන්දමට කලාපීය ආරක්‍ෂාව ගැන නොතකා ඇමරිකානු හඬ පුළුල් කිරීමට ඉඩදීම ඉන්දියාවට බලවත් තර්ජනයක්‌ බව යි.
1984 පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වුණේ නවදිල්ලියේ ය. ජනාධිපති ජයවර්ධන මහතාට ඉන්දිරා ගාන්ධි කියා සිටියේ එක්‌සත් රටක්‌ තුළ දෙමළ ජනයාට ස්‌වයංපාලන අයිතිය ලබාදෙන ලෙස යි. පසුව පැවැති ආරක්‍ෂක කමිටුවේ දී ඔහු එඩිතර ප්‍රකාශයක්‌ කළේය. ශ්‍රී ලංකාවට පරමාණු බෝම්බයක්‌ හෙළීමෙන් මිලියන පහළොවක්‌ මිනිසුන් මරා දමන්නට පුළුවන්. නමුත් කවුරුහරි රට ආක්‍රමණයක්‌ කළොත් මාතෘභූමිය වෙනුවෙන් මිලියන පහළොවක්‌ මිනිසුන් ජීවිතය පුදන්නට සූදානම් යෑයි ඔහු කීය. ඔහු කථාව නිමා කළේ මහත්මා ගාන්ධිගේ හා ශ්‍රී නේරුගේ අවිහිංසාවාදී හා මධ්‍යස්‌ථ ප්‍රතිපත්තිවලට ප්‍රශංසා කරමිනි. පසුදින එස්‌. තොණ්‌ඩමන් මහතා ගාන්ධි මැතිනිය හමුවී, ඡේ. ආර්. ඔබතුමියගේ පියාණන් ගැන හොඳ වර්ණනාවක්‌ කළා නේදැ? යි ඇසුවේය. “ඔය නාකියා මගේ පියා වර්ණනා කළා නොවෙයි. මම මගේ පියා වගේ වැඩ කරන්නේ නැහැ කියලා ඇණුම් පදයක්‌ කීවේ” යනු ඇය දුන් පිළිතුර යි. ඉන්දිරා ගාන්ධි මැතිනිය ඇයගේ පියාට වඩා තද ගති ඇත්තියකි. තම රටේ උපන් බුදුරදුන් ලක්‌වැසියන් රැකගැනීම ශ්‍රී නේරුගේ පැසසුමට ලක්‌විය. එහෙත් 1974 ප්‍රථම පරමාණු බෝම්බය පිපිරවීම සාර්ථක වූ බව හැඟවීමට ඇය යොදාගත් රහසිගත වචනය “බුදුන් හිනාවුණා” යන්න යි. ඒ ඇයගේ මානසිකත්වය යි. තම ආක්‍රමණකාරී ප්‍රතිපත්ති නිසා අර්බුද රාශියකට මැදි වී සිටි ගාන්ධි මැතිනිය ඝාතනයට ලක්‌විණි. රජීව් ගාන්ධි මහතා ද ගියේ මවගේ මාර්ගයේ යි.
සාම සාකච්ඡාවලින් වැඩක්‌ නොවන බව තේරුම් ගත් ඡේ. ආර්. ජයවර්ධන රජය ත්‍රස්‌තවාදීන් පරාජය කිරීම සඳහා 1987 වසරේ දී යුද මෙහෙයුම් දියත් කළේය. කොටි ත්‍රස්‌තවාදය නිමා කිරීමට තිබුණේ කෙටි කාලයකි. තමන්ට අවනත දෙමළ ඊළමක්‌ පිහිටුවා ගන්නට මාන බැලූ ඉන්දියාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්තට පිටුපා මානුෂික ආධාර සැපයීමේ මුවාවෙන් ත්‍රස්‌තවාදීන් රකින්නට මැදිහත් විය. 1987 ජුලි 29 වැනි දින රටපුරා කළු කොඩි දමා උද්ඝෝෂණය කරද්දී, ඇඳිරි නීතිය මැද ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුණේ කොටි ත්‍රස්‌තවාදය තවත් පිම්මක්‌ ඉදිරියට ඔසවා තබමිනි. තමන් දිවි බේරාදුන් ත්‍රස්‌වාදීන් අතින් ම රජිව් ගාන්ධි මැරුම් කෑම දෛවයේ සරදමකි. ඔහු ශ්‍රී ලංකාවට සිදුකළ බලහත්කාරකම පිළිබඳව එයට උදව් දුන් ඡේ. එන්. ඩික්‌සිත් වාර්තා කර ඇත. ඉන්දු-ලංකා ගිවිසුමේ තිබෙන්නේ ඉන්දියාවේ හා දෙමළ අන්තවාදීන්ගේ බලාපොරොත්තු ගොන්නකි. ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි, විදේශීය ගුවන් ප්‍රචාරක මධ්‍යස්‌ථානවලට ඉඩ නොදීම, ආරක්‍ෂක හමුදා පුහුණුව ඉන්දියාවෙන් ලබාගැනීම, උතුරු හා නැගෙනහිර පළාත්වලට ස්‌වයං පාලනයක්‌ දීම හා පළාත් ඒකාබද්ධ කිරීමට ඉඩ සැලසීම, ඒ පළාත් දෙමළ ජනයාගේ ඓතිහාසික වාසභූමි බව පිළිගැනීම යනාදී කාරණා ඒ අතර වෙයි. ඒවා සාමය සඳහා නොව පසුකාලීන ගැටුම් සඳහා බලපෑවේය. ඉන්දියාව පොරොන්දු ඉටුකිරීමට අසමත්වීමත්, ත්‍රස්‌තවාදීන් එය පිළිනොගැනීමත් නිසා ගිවිසුම අසාර්ථක විය. 13 වැනි ව්‍යවස්‌ථාව නමැති අතුරු ඵලය පමණක්‌ ඉතිරි විය. එය ද අහෝසි කිරීමට කාලය එළඹ ඇත. රටවල් අතර පැවැති ඉන්දු ලංකා ගිවිසුම ඒකපාක්‍ෂිකව වෙනස්‌ නොකළ හැකියෑයි මතයක්‌ පවතියි. ඉන්දීය කම්කරු දෙමළ ජනතාවට පුරවැසි අයිතිය දුන්නේ සිරිමා-ශාස්‌ත්‍රී ගිවිසුම වෙනස්‌ කිරීමෙනි. එය ද දෙරට අතර ගිවිසුමකි. ඉන්දියාවට වාසිදායක නිසා ඒ සම්බන්ධයෙන් නිහඬ ය.


ඡේ. ආර්. ජයවර්ධන මහතාට ගිවිසුමට අත්සන් නොකළොත්, අනතුරුදායක ප්‍රතිඵල උදාවන බව කීවේ රොනී ද මැල් ඇමැතිවරයා යි. ඡේ. ආර්. ජයවර්ධන මහතා අතින් ත්‍රස්‌වාදය නිමා කිරීමට තිබුණ අවස්‌ථාව හා ඔහුගේ පෞරුෂය ගිලිහුණි. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දැඩි අදිටනකින් ත්‍රස්‌තවාදය පැරදවූයේය. අද ආසියාවේ දේශපාලනය එදාට වඩා වෙනස්‌ ය. ඉන්දියාව හා ඇමෙරිකා එක්‌සත් ජනපදය න්‍යෂ්ටික ආරක්‍ෂක ගිවිසුම් ඔස්‌සේ දැන් හිතවත් ය. බෙදුම්වාදයේ ත්‍රස්‌වාදී සේනාංකය පැරදවීම ගැන ශ්‍රී ලංකාවට උරණ වන්නේ බටහිර රටවල් ය. එය රාජපක්‍ෂ විරෝධයක්‌ බවට පත්ව ඇත. රජය දැඩි අදිටන් කරගත යුත්තේ දිනාගත් දෙය යළිත් බෙදුම්වාදීන් අතට පත් නොකිරීමට යි. බෙදුම්වාදී මතවාදය තවමත් පවතියි. ඒ සඳහා උදව් දෙන දේශීය හා විදේශීය බලවේගයන්ට යටත් නොවී ඉදිරියටත් ජනතාව සමඟ රැඳී සිටීම සඳහා රාජපක්‍ෂවරුන් තම පෞරුෂය රඳවාගත යුතු ය.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික

 

http://www.divaina.com/2013/07/26/feature.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )